skip to Main Content

නායක මාහිමිපාණන් වහන්සේ අපවත්වී වදාල සේක. [2004]

නීතුපත්පාන ගිරිහඩු සෑය අධිපති ධර්ම කිීර්ති ශ්‍රී ගන්දර ආනන්ද මාහිමිපාණන් වහන්සේ 2004.04.05 දින අපවත්වී වදාල සේක. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ ප්‍රදේශවාසී බෞද්ධ පිංවතුන් විහාල පිරිසකගේ සහභාගීත්වය ඇතුව ගිරිහඬුසෑ විහාර පරිශ්‍රයේදී සිදුකරන ලදි. ආදාහන පූජෝත්සවය හා සම්බන්ධව කටයූතු කළ රාජ්‍ය නිළධාරීන් හා පොලීසියේ විසින් ආදාහන කටයුතු  ත්‍රිකුණාමල මැග්හෙයිසර් ක්‍රීඩාංගනයේ සිදුකිරීමට යෝජනා වී තිබූ අතර පැවති අයහපත් වාතාවරණය තුලදී වුවද පූජ්‍ය දෙවිනුවර චන්දිම ස්ථිවිරයන් වහන්සේගේ බලවත් ඉල්ලීම පරිදි,  ආදාහන පූජෝත්සවය තිරියායේදී සිදු කිරීමට තීරණය කෙරිණ.

සම්බුද්ධ ශාසනයේ චිරශ්තිතිය වෙනුවෙන් අපමණ ශාසනික සේවාවක් කළ උන්වහන්සේ වර්ෂ 1931 දී පැවිදි දිවියට එක් වූහ. මෙකල දකුණූ පළාතේ මාතර දිස්ත්‍රික්කයේ, ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂඨ සඟරුවන් තුන් නමක් පහළ වී සිටියහ. ඉන් එක් නමක් වූ පූජ්‍ය දඹගස්ආරේ සුමේධංකර නාහිමියන් සේරුවාවිල ‌බෞද්ධ උරුමය රුකගනීම පිණිස සේරුවාවිල බලා වැඩම කළ සේක. තවන් සඟ රුවනක් වූ පූජ්‍ය කිතලගම සීලාලංකාර නාහිමියෝ දිඹුලාගල බෞද්ධ උරුමය වෙනුවෙන් දිඹුලාගල බලා වැඩම කළ සේක. අප මහා නායක, පූජ්‍ය ගන්දර ආනන්ද නාහිමියෝ පෙර රජදරුවන් විසින් අපට ඉතිරි කළ නැගෙනහිර අපේ  මුදුන්මල් කඩක් වූ  ගිරිහඬු සෑ බෞද්ධ උරුමය රැක ගැනීම පිණීස වර්ෂ 1954 දී තිරියායා බලා වැඩම කළ සේක. එහිදිී උන්වහන්සේට විඳීමට සිදුවූ දුක් ගැහැට මෙපණයි කියා ප්‍රකාශ කළ නොහැක. වන අලි, වලසුන්, දිවියන්, විශඝෝර සර්පයින් සහ නිමක් නැති මැසි මදුරු උවදුරු හමුවේ නෙසැලී, මේ මොහොතේ සුජීවත්ව සිටින අප සැවොමටත්, මතු අනාගතයේ ලක් දෙරණේ ඉපදෙන දරුවන් වෙනුවෙනුත් උන්වහන්සේ විසින් ආරක්ෂාකොට රැකදුන්නේ සුවිසල් දායාදයකි. ත්‍රස්තවාදී උවදුර උත්සන්නව සිටි සමයේදී පවාඋන්වහන්සේගේ ත්‍රීකුණාමළ සිරිමාපුර පිහිටි ශ්‍රී ආනන්දාරාමයේ සිට තිරියායට ඇති කිලෝමීටර් 49 ක මුලු දුරම ගෙවා දැමුවේ පයින් වැඩම කිරීමෙනි. සතියකට වරක් හාල්,පොල් ඇතුළු අඩුමකුඩුම තම උරහිසේ ලා කටු පඳුරු සහිත ඉතා දුශ්කර මාර්ගයක තිරියාය බලා වැඩම කළ උන්වන්සේ අපමණ චිත්ත ධෛරියකින් යුක්ත කාරුණික සිත් ඇත්තා වූහ. එසේ නොයන්නට අද තිරියාය අන්‍යාගමික දෙවොලක් හෝ පල්ලියක් වනු නොඅනුමානයි. ඉතිහාස පොතපත සහ ධර්ම ග්‍රන්ථ පරිශිලනයට දැඩි ඇල්මකින් ක්‍රියා කල උන්වහන්සේ, ගිරිහඬු සෑ රඦිඳාණන්ගේ පුරාතන ඉතිහාසගත තොරතුරු එක්ව කැටිකළ “නීතුපත්පාණ – ගිරිහඬු සෑය” ග්‍රන්ථය ලියා පළකරන ලදි. මෙම වෙබ් අඩවියට පාදක වී ඇත්තේ ද උන්වහන්සේ විසින් රචිත ඒ ග්‍රන්ථයේ සඳහන් විස්තරය වේ.

අපවත්වී වදාල ගන්දර ආනන්ද නායක හිමි වෙනුවෙන් පූජ්‍ය තිරිකුණාමළේ ආනන්ද අනුනාහිමි විසින් “තිරියායේ නාහිමි සදුනි”  නමින් 2004.04.11 වැනි දින දෑ හිතකාමී දිවයින පත්‍රයේ පළ කල කවි පන්තිය මෙසේය.

නිතුපත් පාණ මහ වෙහෙරේ            තිරියායේ

කෙස් දා නිදන් කොට කැරවූ           මහ සෑයේ

කතු රැස් මතු කෙරූ යලි මේ             දියදායේ

මහ සඟ පතිඳ්‍ර රුව දැකුමක් නැත          ආයේ

 

වග වලසුන් ගහන මහ ගන           වනන්තරේ

නෙත නිදි නැතිව විඳිමින් දුක්           නිරන්තරේ

හිමි නොසිටින්න පා මෙත බොදු දනන්      කෙරේ

නැත අද අසනු තිරියායේ                කතන්දරේ

 

උරුම කැර දෙමින් උරුමය              නැගෙනහිර

බුරුම කුඩය හා දරමින් තුන්                 සිවුරු

කරුමයක් සේ නො සිතූ විඳි දුක්              දහර

අරුම හිමිගේ හසරැල්ලයි මුව                තඹර

 

දම්දර වෙලා පෙර බුදු පුත් මඟ              වැඩිය

පින්සර වීමු ඔබ සෙවණින් ලැබ               එඩිය

ගන්දර අනඳ හිමි නාමෙන් හෙළ            කොඩිය

ගම්බර වේවි හෙට දින පෙරටත්              වැඩිය

 

 

 

Back To Top