skip to Main Content

උත්තර භාරතයේ උතුරු ඉන්දියවේ සිංනද්‍ර නදියේ සුවාසතු නම් අතු ගංඟා තීර‍යේ පුෂ්කරවතී නම් නුවරකි. තපස්සු භල්ලික ‍වෙළඳ දෙබෑයන්‍ගේ  පියා එනුවර උපන් ගැල් ‍වෙළෙන්දකි. මේ නුවර සමීපයේ වූ අසිතඤ්ජන පුරය දෙබෑයන්ගේ මාතෘ භූමියයි. මොවුන්ගේ වාස භූමිය වූයේ අසිතඤ්ජන පුරයේ වූ උත්කළ නගරයයි. පියාගේ ඇවෑමෙන් දෙබෑයනට වෙළඳ ව්‍යාපාරය හිමි විය.  වෙළඳ බඩු පිරවූ ගැල් 500 ක් පදවාගෙන උතුරේ සිට හිමාලය කඳු පා මුලින් මධ්‍ය දේශයට එද්දී කිරිපලු වනයේ දී බුදු වූ 50 වැනි දා බුදුන් වහන්සේ මුණගැසුණහ.

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ සත් සතිය ගතකොට 50 වන දිනය එළඹ කල්හි ශක්‍ර දේවේන්ද්‍රයා දිවසින් බලා අරලු වලින් නිම කළ දැහැටි දණ්ඩක් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීය. ඉන් පසුව මුව සෝදා ප්‍රථම දානය වැළඳීමේ බලාපොරොත්තුව ඇතිව වැඩ සිටි අතර පෙර ප්‍රාර්තනාවන් ඉටු වීම වස් තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් මේ අසලින් ගැල් 500 ක් රැගෙන වෙළඳාමේ යෙදුනු අතර සහලේ දේවතාවිය ගැල් පොළවේ එරීමට සලස්වා පෙර අත් බැව් ප්‍රාර්තනාවන් ඉටු කර ගන්නා ලෙස  ඔවුනට පවසන ලදි.

ප්‍රථම දානය පිලිගැන්වීම සඳහා සතර වරම් දෙවිවරුන් පිලිගැන්වූ පාත්තර සතර බුදුරදුන්ගේ ප්‍රාර්තනාවක් අනුව එක් පාත්ත්‍රයක් බවට පත්කර ගෙන තපස්සු සය භල්ලික වෙළඳ දෙබෑයන් විසින් පිලිගන්වන ලද විළඳ සහ මී පැණි ප්‍රථම දානය වැළඳූ සේක. චිත්තප්‍රබෝධයට පත් වෙළඳ දෙබෑයන් බුදුන් දහම් සරණ ගිය ප්‍රථම දේවෝවාචික උපාසකයන් බවට පත් වූහ. තපස්සු භල්ලික දෙදෙනා බුදුරජානන් වහන්සේ වන්දනා කිරීමට යමක් ඉල්ලූ විට බුදුරදුන් තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දෙන ලදි. ඔවුන් එම කේශ ධාතූන් වහන්සේලා සත්රුවන් කරඩුවක තැන්පත් කර වෙළඳාමේ යන තැන්වලට ගෙන ගොස් වැඳුම් පිදුම් කළ අතර ලංකාවට පැමිණ ගිරිකන්න ප්‍රදේශයේ ගිරිකන්න පර්වතයට පැමිණ වෙළඳාම් කර නැවත යාමට සැරසුනු විට එම කරඬුව, තැන්පත් කර තිබූ ගල් පර්වතයටම සවි වී තිබිණ.

ඉන් පසුව බුදුන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථමයෙන් ශේෂ වූ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කොට තුන් ලෝකයේ ඉදිකරන ලද ප්‍රථම ස්තූපය වන ගිරිහඬු සෑය තපස්සු සය භල්ලික වෙළඳ දෙබෑයන් විසින් නිර්මාණය කරන ලදි. එපමණක් නොව ගම රට ගිය දෙබෑයන් සත් රුවන් කරඬුවක තැන්පත් කර වඳින පුදන කේශ ධාතූන් වහන්සේලාගෙන් දෙනම බැගින් වෙළඳාමේ යනෙන සෑම රටකම වාගේ තැන්පත් කර දාගැබ් පිහිටුවා ඇත.  බුරුමය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ආදී රටවලද අද දක්නට ලැබෙන ඒ දාගැබ් වලින් ඒ බැව් පෙනී යයි.

දේශ දේශාන්තරවල ගමන්ගත් හියුන්සියාන් චීන භික්ෂුවගේ ගමන් විස්තරයේ ඇෆ්ගනිස්තානයේදී කේශ ධාතු චෛත්‍යට වැඳුම් පිදුම් කරනු දුටු බව ලියා තිබේ. එසේම බුරුම රටවැසියන්ගේ පිළිගැනීම නම් මේ දෙබෑයන් බුරුම වැසියන් බවත්, මේ කේශධාතු ගෙනෙද්දී රජවරු දෙදෙනෙක් ධාතු දෙකොටසක් පැහැරගත් බවත් ඉතිරිවා රැන්ගුන් සෑයේ නිධන් කළ බවත්ය. රන් තහඩු වලින් වසා තිබෙන මේ සෑය බුරුම රටේ රාජකීය වස්තුවයි. බුරුම රටට ළඟාවන හැම දෙනාටම පළමුවෙන් දර්ශනය වන්නේ මේ ස්වර්ණමය චෛත්‍යයයි.

බුදුන් වහන්සේ කෙරේ පහන් සංවේගයෙන් පිනාගිය ද්වෙවාචික ප්‍රථම බෞද්ධෝපාසකයෝ ලක්දිවට පැමිණියේ වෙළඳාම සඳහා බැව් තිරියාය සෙල් ලිපිය පෙන්වා දෙයි. ක්‍රි.ව. 733 දී රජ වූ අග්‍රබෝධි සිලාමේඝ කාලයේ මේ ලිපිය ලියන විටත් කටින් කට මේ පුවත ගෙන ආ පරම්පරාගත බෞද්ධයන් එහි විසූ බව කිය හැකිය. ගිරිකණ්ඬයේ ( ගිරිහඬුවේ) විසූ යක්ෂාධිපතියකු එදා බුදු බණ ඇසීමට මහියංගනයට (බිම්තැන්නට) ගියේ යැයි ප්‍රථම බුද්ධාගමනය විස්තර කරන සමන්තකූට වර්ණණාවේ එයි. පිට රටකින් වෙළඳ සබදකම් පවත්වනුයේ රජකුගේ හෝ රජයේ මාර්ගයෙනි. මේ අධිපතියාගේ සම්බන්ධයත් රට වැසියාගේ විශ්වාසයත් දිනා ගැනීම පිණිස දෙබෑයන් විසින් මේ කේශ ධාතු පිහිටුවා සෑයක් ඇරඹීම පිළිගත යුතු කරුණක් හැටියට ස්ථිර වෙයි.

දම්සක් දෙසූ බුදුන් වහන්සේ එම බරණැස ඉසිපතනාරාමයේ ප්‍රථම වස් තුන් මස නිමවා පිළිවෙළින් රජගහ නුවර වැඩ දම් දෙසූ සේක. ගිහිගෙය පිළිබඳ අයිතිවාසිකම් දූ දරුවන්ට පැවරූ දෙබෑයන් එහි ගොස් බණ අසා තපස්සු තෙමේ සෝවාන් වූ බවත් භල්ලික තෙමේ රහත් වූ බවත් ආනන්ද මෛත්‍රී මහ නාහිමියන් ලියූ බුද්ධ චරිතයේ උප ග්‍රන්ථයේ බලත්වා. දෙබෑයන් මාර්ග ඵලාවබෝධකිරීමට පෙර කේශ ධාතු නිධානය සිදුවිය යුතු හෙයින් බුදු හිමියන්ගේ ප්‍රථම ලංකාගමනයට පෙර ගිරිහඬු සෑය ඇරඹුනේද? පූජාවලියේ කියන පරිදි ලංකාවේ සර්වඥ පිහිටියා වූද බුදු හිමියන්ට පුද පූජා කළා වූද ආදීම ස්ථානය ගිරිහඬු සෑයද?

ධාතු අන්තර්ධානයේදී දඹදිව ශ්‍රී මහා බෝධි මූලයේ නිර්මාණය වන බුදු රුවට, අවුරුදු පන්දහසක් ගතවන විට ගිරිහඬු සෑය ආදී තැන් හි වූ ධාතූන් වහන්සේලා එක්වන බව පූජාවලියේ දැක්වේ. එසේ නම් එතෙක් කේශ ධාතු ගිරිහඬු සෑයේ තිබිය යුතු නොවේද?

ඉහත සඳහන් සිද්ධිය සිදු වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයක බැවින් ගිරිහඬු සෑ ධාතු ගර්භයේ තැන්පත්ව වැඩ සිටිනුයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතූන් වේ.

Back To Top