වටදාගෙයි නැගෙනහිර පියගැටපෙළට දකුණතින් වැලි මළුවෙහි වූයේ තති ගලකින් නිමවූ පැන් පොකුණකි. හතරැස්ව නෙළු මේ පොකුණ දිගින් අඩි 6 යි අඟල් 6 කි. පළලින් අඩි 4 යි අඟල් 4 කි. අඩියද සෙල්මුවා ලීස්තරයකින් අලංකාරය. පොකුණේ සෙල් මුවා මළුව සීමානතයේද අලංකාර ලීස්තරයකින් නිමියේය. නැගෙනහිර පියගැට පෙළට වමතින් වූයේ අඩි 12 x 12 ප්‍රමාණයේ දිගු පුළුලැති පිළිම ගෙයක අත්තිවාරම සහිත නටබුන්ය. මෙය සෙල්මුවා දොරටු මුරගල් කොරවක් ගල් යොදා මැටි ගඩොලින් නිම වූවකි. පිළිමයේ පාදය පමණක් ශේෂ වී තිබේ. පැන් පොකුණට උතුරු දෙසින් සෑයට යෙදූ ඡත්‍රය යැයි අනුමාන කළ හැකි විසිතුරු කැටයමින් යුත් ශිලාමය නිර්මාණයකි. එයට නුදුරේ කුඩා පිළිම ගෙවල් දෙකක නටඹුන්ය. ඉන් එක පිළිම ගෙයකට යොදා තිබෙන දොරටුවේ සෙල්මුවා මුරගල හා කොරවක්ගල් කිසි තැනක දක්නට නොලැබෙන අයුරු නිමා වී ඇත. එය දුබල හමුවීමකි.
වටදා ගෙයට දකුණෙන් හා බටහරෙන් වූ ඔත් පිළිම ගෙයක සහ සිටි පිළිම ගෙයක නටඹුන් හමු වී ඇත. නැගෙනහිර දෙසට හිස ලා සැතපෙන සේ මැටි ගැඩොලින් තැනුන පිළිමය 18 රියනක් දිගය. ගල් කණු යොදා මැටි ගැඩොලින් තැනුන මේ විහාර මන්දිරයට සෙල්මුවා දොරටු තුනකි. එහි පලල අඩි 68 x 36 කි. ගල් කණු සහිත බිත්ති අඩි 5ක් පමණ උසට ඉතිරිවී ඇත. එම බිත්තිය පිටතින් ලීස්තරය බේරා අලංකාරවත් වූයේය. අත්තිවාරම් සමග ඉතිරිවී ඇති බිත්තියේ උස අඩි 2 ක් පමණ වේ. අඩි 7 ක් පමණ උස සිටි පිළිමය සුදු ගලකින් නෙළන ලද්දකි. අඩියේද සුදු ගලකින් නෙළු පද්මයකි.
මේ පිළිමගේ සමග උතුරු දෙසින් වුයේබහිරව රූප දෙකක් සමග වූ දෙවොලකැයි අනුමාන කළ හැකි නටඹුන්ය. එයට ඇතුළුවීමට දොරටු තුනක් වූයේය. එයට උතුරෙන් වූයේ අඩි 70 x 36 ක් දිගු පුළුලැති අත්තිවාරම් සමග වූ ගල් කණු සමූහයකි. සෑය අවට පරිසරය මළුව තුල මෙසේ බලත්ම ඈත දුර ඉහල පහළ දෙසින් දෙස බලත්ම සොබා දහමේ අපූරු දර්ශන පථයක් හමුවන්නේය. ප්‍රතිභා ශක්තියෙන් ඔද වැඩී ගිය කවි කෝකිලයන් මෙහිදී දෙව් ලොවකට පිවිසියා සේ විනොද වනු ඇත. ත්‍රිකුණාමල වරාය දෙසට විහිදී ගිය කඳුවැටි තැනිතලා නැගෙනහිර දෙසින් දිස්වේ. එසේම නිලාවේලි, කුච්චවේලි ගොඩබිම කඳුවැටි සමග ගැටී ශෝභාත්මකවූ නිල්වන් මුහුදු තීරය පොඩවාකට්ටු උතුරු පෙදෙස අතිශය චමත්කාරය. බෙන්ගාලයේ වරාය නිල්වන් පලසක් අතුළාක් මෙන් පෙනේ යැයි පුරාවිද්‍යා කීර්ති සෙනරත් පරනවිතාන සූරීන් විසින්ද ලියා තිබේ. බටහිර දෙසින් පදවිය වව්නියාව මැදවච්චිය කැබිතිගොල්ලෑව ප්‍රදේශ කඳු හෙල් වැව් පොකුණු අතර යාන් ඔය රිදීවන් නාගයකු මුහුද දෙසට ගමන් කරන්නා සේ මනහරයය. අනුරාධපුර දෙස දකුණු දෙසින් අලංකාර කරමින් මිහින්තලය ආදී කඳු වැටි ඇල දොල ගංඟා ආදියෙන් විචිත්‍රය. සැතපුම් ගනන් දුර ප්‍රමාණයේ වූ නිල්වන් වනහිස එකම තණ පිටියක් සේ දැකුම් කළුය. පැරණි සිංහල බෞද්ධයන්ගේ නිජබිම බවට නිදසුන් දෙමින් අවට පෙදෙස් සැතපුම් දෙකෙන් තුනෙන් හතරෙන් පැරණි වෙහෙර විහාර තැනින් තැන නටඹුන් වී ඇත.