බුදු රජුන් වහන්සේ ශාක්‍ය රාජතිලක යනුවෙන් ශාක්‍ය රාජසිංහ යනාදී වශයෙන්ද හඳුන්වනුයේ ශාක්‍යරාජ වංශයේ උපන් හෙයිනි. අප බුදු පියාණන් වහන්සේගේ පියා සුද්ධෝදන රජතුමාය. එතුමාගේ සහෝදර අමිතෝදන රජතුමාගේ පුත්‍රයකු පණ්ඩු ශාක්‍ය නමින් එයි. එතුමාගේ දූ කුමරිය වූ භද්‍ර කච්චායනාව විවාහ වූයේ විජය රජුට පසුව රජවූ පඬුවස් දෙව් රජු සමගයි. මෙතුමාගේ බාලම පුතා ගිරිකණ්ඬසිව නොවේද? භද්‍ර කච්චායනාව ලක්දිව බටුයේ සහෝදරයින් කීපදෙනෙකු සමගයි. එයින් අනුරාධ කුමරු අනුරාධපුරයේද විජිත කුමරු විජිත පුරයේද රෝහණ කුමරු රුහුණේද දීඝායු කුමරු දිගාමඩුල්ලේද ආදී වශයෙන් ප්‍රදේශ රාජ්‍ය පදප්‍රප්ත වූහ. පඬුවස් දෙව් රජුගේ පුත් සිව කුමරා ප්‍රදේශ රාජ්‍ය නාමයත් සමග ගිරිකණ්ඬසිව නමින් ගිරිකඬ පාලනය කළේය.
භද්‍ර කච්චායනාවගේ එකම දියණිය චිත්‍රා කුමරියයි. දීඝායු කුමරුගේ පුත් දීඝ ගාමිණි චිත්‍රා සමග විවාහ වීමෙන් ලද පුත්‍රයා පණ්ඩුකාභය නම් විය. පණ්ඩුකාභය යුද කොට මාමාවරුන් වූ අභය ආදීන් මරා දැමීය. බාලම මාමා වූ ගිරිකණ්ඬසිව රජගේ දියණිය පැහැරගෙන ඒ මාමාට ගිරිකඬ පාලනය කිරීමට ඉඩ හළේය. පණ්ඩුකාභය අනුරාධපුර සිරිලක අගරජු වීමෙන් ලංකා රාජ්‍ය ශාක්‍ය වංශයට හිමි විය. ක්‍රමානුකූලව උතුම් පාලනයක් ඇති වූයේ පණ්ඩුකාභය රාජ්‍යයේදී යැයි ඉතිහාසය දක්වයි. ගිරිකඬ ආදී අපේ ඉතිහාසයේ වැදගත් තොරතුරු කාලයේ වළා පටලයෙන් වැසී ගිය වග ගිරිහඬු පුවත අප්‍රකටව තිබීමෙන් පෙනී යයි. කේශධාතු විස්තරය ඇතුලත් කේශධාතු වංශයද අපේ ග්‍රන්ථ නාමාවලියේ නාම ශේෂ වී ඇත. පණ්ඩුකාභය විසින්ද පැරණි ඇදහීම් ක්‍රම අනුව ආගමික දෙවොල් තැනූ වගත් ඒවායේ ආගමික වතාවත් පැවැත්වූ බවත් ඉතිහාසයේ පැහැදිලි වුවද වෙළඳ දෙබෑයන් ඇරඹූ ගිරිහඬුසෑය ගැන කිසිවක් සඳහන් නොකළේ වංශකථාකාරයින් පක්ෂ භාජනය කිරීමෙකැයි විචාරකයෝ නිගමනය කරති. ශාක්‍ය රාජතිකල සුගත බුදුන් වහන්සේගේ සහලේ ඥාතීන් වූ පණ්ඩුකාභය ස්වර්ණමාලී රාජකීය බිසවගේ ජන්ම භූමියේ පිහිටි ඒ බුදුන් වහන්සේගේ සිහිවටනය සම්භාවනීය පුදසත්කාරයන්ට ක්ෂේත්‍රයක් වූයේ යැයි සිතිය යුතුය.
ශක්‍ය වංශයේ උපන් දෙවනපෑතිස් රාජ්‍යයේදී මිහිඳු මහරහතන් වහන්සේ මිස්සක පව්ව නමින් එදා ප්‍රසිද්ධව පැවතුන කඳුවැටියට පැමැණියේ භික්ෂූන් ගැවසීගත් සෙනසුන වෙතැයි උගතුන් විසින් විචාරයට ලක් කරති. මහින්දාගමනයෙන් පසු මිස්සක පව්ව මිහින්තලය විය. මෙය ආධාරස්ථානය කරගෙන සිරිලක බුදු සසුනක් පිහිටවූ වග නම් ඉර හඳ සේ ප්‍රකටය. මේ කාලයේ ගිරිහඬුසෑයේද රහතන්වහන්සේලාට පිදූ ගල්ලෙනක සෙල්ලිපිය එහි පැරණි ආගමික සිරිත් පෙන්වා දෙයි. මේ සෙල් ලිපියේ අක්ෂර විද්‍යාව අනුව ක්‍රි.පූ. තුන්වන සියවස සිහිපත් කරවයි.