ක්‍රි.ව. 733 දී අනුරපුර රජය වූ අග්‍රබෝධි ශිලාමේඝ රාජයන්ගේ කාලයේ කලින් වූ සෑය වසා අද පෙනෙන කඤ්චුක සෑය හා වටදාගේ නිමවූයේ යැයි අනුමාන කරනුයේ “රත්සල් බතින් ලැව් පහණි” යන සිංහල සෙල් ලිපිය නිසාය. මැටි ගැඩොලින් වූ මුල් සෑය නිමවූයේ කවරකු විසින්දැයි නියම ඉතිහාසගත තොරතුරු මෙතෙක් සොයා ගත නොහැකි විය. කංඤ්චුක සෑයේ ගඩොල් කොටසක් ඉවත්කර පැරණි සෑය බලාගැනීමට සලස්වා ඇත. පැරණි දාගැබේ තලය අණ්ඩාකාර ලීස්තරයකින් තැනී ඇත. කංඤ්චුක සෑයේ බැම්ම ගඩොල් කැබලි වලින් පුරවා බඳනා ලද්දේය. මේ සෑයේ විශ්කම්භය අඩි 32 ½ කින් කවාකාර වූයෝය. ඇතුළු සල පතළ මළුව අඩි 3 ½ කින් පලල්වද අඩි ½ උස්වද තැනී ඇත. මේ සල පතළ මළුවේ බටහිර දෙස ලියා ඇති ඉහත දැක්වෙන සෙල් ලිපියෙන් රත්සැල් බත නැමැත්තකු විසින් ගල තැබූ බව කියවේ. රජුගේ හිතවත් ඒනම් සෝවකයා ලවා ගලක් තැබ වූ බව සිහිකළ යුතුය. මාලේ කණු දොළොසක් යොදා ඇත. මේ ශිලාමය කුළුණු අඩි 14 ½ ක් උසට හිසත් සමග නෙලා තිබේ. ඒවායේ බිම සිට අඩි 4 ක් සතරස්වද , වද උඩ කොටස අටැවැස්ද ඇත. මේ ගල්කණු පේළිය සිට අඩි 12 අඟල් 9 ක් හෝ සෑය පාදයේ සිට අඩි 6 ක් හෝ දුරින් වූ පිට මාලේ ගල් කුළුණු 32 ක් අටැවැස්ව නෙළා යොදා ඇත. මේ කුළුණු 44 ම කැටයමින් එතෙර චිත්‍ර නොවේ. එහෙයින් සුණු බදාමයෙන් ඒවා සිත්තම් වූයේ යැයි පුරා විදු අධිකාරිය අදහස් කරයි. එසේම පිට මාලයේ කුළුණු පාදයේද සුණු බදාමයෙන් නෙළුම් මලක් නිමවා ලන්නට ඇතැයි අනුමාන කරයි.
තිරියාය සේල් ලිපියේ සෑය අවට නෙළුම් මල් වූ බව ලියවී තිබේ. ඇතුළු මාලේ මළුවේ අලුත්වැඩියා කළ ශිලාමය නෙළුම් මලකි. එහි උස අඩි 2 ½ කි. එවැනි මල් කීපයක කැබලි ශේෂව තිබේ.
අනුරාධපුරයේ ථූපාරාමය මැදිරිගිරිය ආදී වටදා ගෙවල වහළ රඳනා ගල් කණුවල හිස වෙනම නෙලා සවිකර ඇතැත් තිරියාය වටදාගෙයි ගල් කණු හිසත් සමග තනි ගලෙන්ම නිමා කර ඇත. සෑයේ සිව් දෙසින් අලංකාර කැටයමින් චිත්‍ර වූ ගල් ආසන සතරකි. උතුරු දකුණ දෙසින් වූයේ අඩි 5 ½ ක් දික් වූද, අඩි 3 ¼ ක් පළල වූද ආසනය. ඉතිරි ආසන අඩි 4 අඟල් 10 ක් දිගය. අඩි 2 ½ ක් පළලය. මේවා ලියවැල් මෝස්තර වලින් හා සිංහ රූප වලින් විචිත්‍ර වූයෝය.
මේ ආසන හතරේ සමාධි ප්‍රතිමා තැන්පත්කර තබන්නට ඇත. ඉන් එක සමාධි ප්‍රතිමාවක් දැනට ශේෂව තිබේ. අනෙක් ප්‍රතිමා තවම හමු නොවූයේය. පිට මාලේ සල පතළ මළුව සිීමාවන පිටතින් වූ වටදාගෙයි සෙල්මුවා බිත්තිය ඇතුලතින් උස අඩි 6 කි. සම්පූර්ණ බැම්ම පිටතින් උස අඩි 10 යි අඟල් 4 කි. එහි ඔප දැමූ පනා බැම්ම අඩි 2 යි අඟල් 4 ක් ඝනය. ඒ බිත්තියේ ඉහල පෙදෙස් පිටත සමදුරින් පන්නා සවිකර ඇති ගල් තහඩු වල සතරැස් සිදුර බැගින් ඇත. ඒ සිදුරු වල වහල දක්වා උස ලී කණු ද සවිකර කණු පේලි තුනක් යොද ඇතැයි ද ලි කණුවල ආදාරයෙන් වහළ රඳවා බිත්තියේ මුදුනත් වහලත් අතර ලී වේදියක් පොළොන්නරුව මැදිරිගිරිය ආදී වටදා ගෙවලට අදහස් නොකළ හෙයින් ඒවායේ පිට බිත්තිය වහළ තෙක්ව උස්ව යෙදී ඇතැයි ද එනිසා තිරියාය වටදාගේ විශේෂ නිර්මාණයක් හැටියටද හඳුන්වා දෙයි.
වටදාගෙයට ඇතුළු වීම සඳහා සතර දෙසින් වූ දොරටු වාහල්කඩ ලෙසින් ඉදිරියට පන්නා ශෝභා සම්පන්න පෙනුමකින් යොදා ඇත. මෙම වහල්කඩවල ඇතුල් පැත්තටත් පිට පැත්තටත් සෙල් මුවා උළු අහු දෙකක් වූ අතර බැම්ම ලී ස්තර යොදා මැටි ගඩොලින් නිමා වූයේය. වටදාගේ ඇතුළත වූ සල පතළ මළුව වැලි මළුවේ සිට අඩි 4 යි අඟල් 4 ක් පමණ උස්ව පිහිටියේය. සල පතල මළුව තෙක් ප්‍රමානයෙන් ව පිටත බිත්තියේ වටේ සෙල්මුවා දාගැබක හැඩහුරුකම පෙන්වා දෙයි. සල පතළ මළුවට පිවිසෙන වහල්කඩ දොරටුවේ දර්ශනීය මුරගල් කොරවක් ගල් යෙදූ පියගැට පේළි වෙයි. නාග දොරටුපාල රූප හා කොරවක් ගල්හි වූ මකර රූපාදී සිංහල කලා කළා කෞශල්‍යයේ මහානියත්වය විදහා පෙන්වයි. දොරටුපාල රෑපයන්හි වූ දෑත රුඳි භාණ්ඩයන්ගෙන්ද මද වූ පැළඳි ආභරණයන්ගෙන්ද ඉරියව් පවතිනුයේ තාපස ගුණය හා මුදිතා ලක්ෂණය මවා පෙන්වීමකි. පියගැට පටන් ගැන්මේදී යොදා ඇති සඳකඩ පහනේ මුල් යුගය ඉන් සිහියට නැඟේ. පල්ලව කළා සම්ප්‍රදාය මූර්තිමත් වූ අතර මේවා අනුරාධපුර ථූපාරාමයේ හා රත්න ප්‍රාසාදයේ රූපයන්ට වඩා පැරණී යුගයේ නිර්මාණයක් හැටියට හඳුනාගෙන ඇත. මෙහි වූ මුරගල අඩි 4 යි අඟල් 4 කි. පළල අඩි 2 කි.
සවන අග්බෝ රජු සමග ගිරිහඬුවේ රැකවල්ලා යුද හමුදා සමග ගිරිහඬු සෑයේ වටදාගේ ආදී ගල් කර්මාන්තයන් මෙහෙයවා ඇත. තම මිත්‍ර පල්ලව රාජයන්ගේ හා අමොඝ වජ්‍ර තෙරුන්ගේ ආශ්‍රයෙන් යුද සෙබලුන් රැක සිටි මේ සෑය ඔවුන් අමරණියත්වයෙන් සිහි කරවයි. වාමන රූප සමග වූ බටහිර දෙස පියගැට පේළි මුරගල් ලංකාවේ භාවිත රු. 10 නෝට්ටුවකද දර්ශනය වේ.