skip to Main Content

විශුද්ධි මාර්ගය නම් පොතේ පඨවී කසින විස්තරයේ බුද්ධාලම්බන උද්වේග ප්‍රීතියට උදාහරණය කළ කතා වස්තුවක් වෙයි. එම කතා ප්‍රවෘත්තිය සිදුවී ඇත්තේ ගිරිහඬු වෙහෙරේදී යැයි ලියා තිබේ. මේ පොත ගියන ලද්දේ බුද්ධඝෝෂ අටුවාචාරීන් විසිනි. උන්වහන්සේ අටුවා ලිවීමට පෙර තම ධර්ම ඥානය අවබෝධකරලීම සඳහා ඒ ග්‍රන්ථය ත්‍රිපිටකය හකුලා සංග්‍රහ කළෝය. බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ ලක්දිව සැපත් වූයේ ක්‍රි.ව. 412 දී අනුරාධපුර රජවූ මහානාම කාලයේය. මේ කාලයටත් පෙර ගිරිහඬුවේ සිදු වූ කතා ප්‍රවෘත්ති ජනප්‍රවාදයේ සැලකිලි ලැබූ අතර අටුවාචාරීන් වහන්සේද ඉතා අගේ කොට සැලකූ බව පෙනේ. ඒ විශුද්ධි මාර්ගය නම් පාලි පොතේ එන කතා වස්තුව සිංහල විශුද්ධි මාර්ගයේ මෙසේ පරිවර්තනය වී ඇත.

“ගිරිහඬු වෙහෙරට සමීප වත්තකාල නම් ගම් වැසි එක් කුල දුවක් බලවත් වූ බුද්ධාලම්බන උද්වේග ප්‍රීතියෙන් අහසට නැංඟාය.”

ඇගේ මව්පියෝ එක් දවසක් සවස බණ අසනු සඳහා විහාරස්ථානයට යන්නට සැරසී “දුවනිය,ගර්භනිය,අවේලාවේ ඇවිදීම නුසුදුසුය. අපි ඔබද සිහිපත්කොට බණ අසම්හ” යි කියා නැගී ගියහ. යා හැකි වුවද මව් පියන්ගේ වචනය ඉක්මවන්නට අසමත්ව ගෙදොර රඳා මිදුලේ සිට සඳ පහනින් ගිරිහඬුවේ ආකාශ මළුව බලන්නී. එහි පහන් පූජාව දුටුවාය. පිරිස සුවඳ මලින් සෑය පුදා පැදකුනු කරති. භික්ෂු සංගයාගේ ගණ සජ්ජායනා ශබ්දය ඇසේ. විහාරයට ගොස් මෙබඳු ධර්ම කතා අසන්නට ලැබුවෝ අහෝ ඒකාන්තයෙන්ම මහා පිනැත්තෝය. මුතු බඳු චෛත්‍යය ය බලත්ම ඇයට උද්වේග ප්‍රීතිය උපන. ඔ අහසට නැඟී මව්පියන්ට පොරාතුවම ආකාශ චෛත්යාංනගනයෙහි බැස සෑය වැඳ බණ අසමින් සිටියහ.

මව්පියන් අවුත් විස්මිතව “දරුවා උඹ කවර මගකින් අවුදැයි” විචාලහ. “මම අහසින් ආමි, මගකින් නොආමි” යි ඔ කීවාය. “දරුව අහසින් යන්නෝ රහතන් වහන්සේය. උඹ කෙසේ අවුද” යි නැවත කීකළ, “සඳ පහනින් චෛත්යා මළුව බලා සිටි මට බලවත් බුද්ධාලම්බන ප්‍රීතියක් පහළ විය. එයින් මම මා උන් සිටි බව නොදනිමි, ගත් අරමුණින් අහසින් අවුත් මළුවේදී පිහිටියෙමි.”යි කීවාය.
අහස පොළව එකට ගැටලෙන තරම් ගැටලු ප්‍රශ්ණයක් බවට පෙරළී ඇති “ගිරිහඬු වෙහෙර කොතැන පිහිටයේද” යන විමතියට හොඳම පිළිතුරක් මේ කතාවේ පිළිබිඹු වී ඇත. මේ කථාව කියවා නීතුපත්පාණ ගිරිහඬුසෑයට පැමිණියෙකුට එය පහසුවෙන් විසඳාගත හැකිය.
ගිරිකඩ වෙහෙරට ආසන්නයේ වූ “වත්තකාල” අද පුල්මොටෙයි යන නමින් හඳුන්වයි. “වත්තකාල” හෙවත් “කලුවත” නම් අද ඛනිජ වැලි පිහිටි ප්‍රදේශයයි. අර්ථාවබෝධයෙන් ඒ ගම හඳුනාගත හැකිය. එහි ගෙමිදුලට ගිරිහඬුවේ ආකාශ චෛත්‍යය මළුව හොඳින් බලාගත හැකිය. ඒ ස්වාභාවික ලක්ෂණ අන් කිසිම තැනක නොපිහිටියේය. මෙයට සැසඳෙන තිරියාය සෙල් ලිපියද ප්‍රතිවාදීන් නිහඬ කරවයි. එසේම මේ කුල දුවගේ කතා වස්තුවෙන්, පෙනී යන්නේ එකළ අවට විසූ බෞද්ධයන් සෑයට පුද පූජා කිරීම, බණ දහම් ඇසීම හා භික්ෂූන් වහන්සේගේ වත් පිළිවෙත්ද නොඅඩුවම පැවතීම සිදවූ බවයි.

Back To Top