අපවත්වී වදාළ නිතුපත්පාණ ගිරිහඬු සෑ අධිපති ධර්ම කීර්ති ශ්‍රී ගන්දර ආනන්ද නායක හිමිපාණන් ත්‍රීකුණාමළ සිරිමාපුර ශ්‍රී ආනන්දාරාමය සහ නීතුපත්පාණ ගිරිහඬුසෑය යන උභය විහාරාධිපතීත්වය දැරූහ. සම්බුද්ධ ශාසනයේ චිරශ්තිතිය වෙනුවෙන් අපමණ ශාසනික සේවාවක් කළ උන්වහන්සේ වර්ෂ 1931 දී පැවිදි දිවියට එක් වූහ. මෙකල දකුණූ පළාතේ මාතර දිස්ත්‍රික්කයේ, ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂඨ සඟරුවන් තුන් නමක් පහළ වී සිටියහ. ඉන් එක් නමක් වූ පූජ්‍ය දඹගස්ආරේ සුමේධංකර නාහිමියන් සේරුවාවිල බෞද්ධ උරුමය රුකගනීම පිණිස සේරුවාවිල බලා වැඩම කළ සේක. තවන් සඟ රුවනක් වූ පූජ්‍ය කිතලගම සීලාලංකාර නාහිමියෝ දිඹුලාගල බෞද්ධ උරුමය වෙනුවෙන් දිඹුලාගල බලා වැඩම කළ සේක. අප මහා නායක, පූජ්‍ය ගන්දර ආනන්ද නාහිමියෝ පෙර රජදරුවන් විසින් අපට ඉතිරි කළ නැගෙනහිර අපේ මුදුන්මල් කඩක් වූ ගිරිහඬු සෑ බෞද්ධ උරුමය රැක ගැනීම පිණීස වර්ෂ 1954 දී තිරියායා බලා වැඩම කළ සේක.
එහිදිී උන්වහන්සේට විඳීමට සිදුවූ දුක් ගැහැට මෙපණයි කියා ප්‍රකාශ කළ නොහැක. වන අලි, වලසුන්, දිවියන්, විශඝෝර සර්පයින් සහ නිමක් නැති මැසි මදුරු උවදුරු හමුවේ නෙසැලී, මේ මොහොතේ සුජීවත්ව සිටින අප සැවොමටත්, මතු අනාගතයේ ලක් දෙරණේ ඉපදෙන දරුවන් වෙනුවෙනුත් උන්වහන්සේ විසින් ආරක්ෂාකොට රැකදුන්නේ සුවිසල් දායාදයකි. ත්‍රස්තවාදී උවදුර උත්සන්නව සිටි සමයේදී පවාඋන්වහන්සේගේ ත්‍රීකුණාමළ සිරිමාපුර පිහිටි ශ්‍රී ආනන්දාරාමයේ සිට තිරියායට ඇති කිලෝමීටර් 49 ක මුලු දුරම ගෙවා දැමුවේ පයින් වැඩම කිරීමෙනි. සතියකට වරක් හාල්,පොල් ඇතුළු අඩුමකුඩුම තම උරහිසේ ලා කටු පඳුරු සහිත ඉතා දුශ්කර මාර්ගයක තිරියාය බලා වැඩම කළ උන්වන්සේ අපමණ චිත්ත ධෛරියකින් යුක්ත කාරුණික සිත් ඇත්තා වූහ. එසේ නොයන්නට අද තිරියාය අන්‍යාගමික දෙවොලක් හෝ පල්ලියක් වනු නොඅනුමානයි. ඉතිහාස පොතපත සහ ධර්ම ග්‍රන්ථ පරිශිලනයට දැඩි ඇල්මකින් ක්‍රියා කල උන්වහන්සේ, ගිරිහඬු සෑ රඦිඳාණන්ගේ පුරාතන ඉතිහාසගත තොරතුරු එක්ව කැටිකළ “නීතුපත්පාණ – ගිරිහඬු සෑය” ග්‍රන්ථය ලියා පළකරන ලදි. මෙම වෙබ් අඩවියට පාදක වී ඇත්තේ ද උන්වහන්සේ විසින් රචිත ඒ ග්‍රන්ථයේ සඳහන් විස්තරය වේ. එම ග්‍රන්ථයේ එක් තැනක උන්වහන්සේ ලියූ සටහනක් මෙසේ උපුටා දක්වන්නෙමු.
අදත් බිහිසුණු වන සතුන්ගෙන් ගැවසීගත් සර්පයන්ගෙන් ගහන වූ වනදුර්ගයේ මදුරුවන්ගෙන්ද පිරී ඉතිරී ඇත. 1955 වර්ෂයේ අපේ ඥාතීන්ගේ බලවත් ඉල්ලීම නිසා ස්ථානයේ ලැගුම් ගතිමි. විශාල ගිනි ගොඩවල් ගසා එහි ආවරණයෙන් සැක බිය දුරු කර කාලය ගෙවීමි. දුකසේ ආහාර ඇතැත් නැතැත් සෑය ඉදිරියේ දිනකට වැඳුම් පිදුම් තෙවරක් පැවැත්වීම, වතාවත් කිරීම, යනෙන සැදැහැවතුනට සිල් සමාදම් කරවීම,බණ දහම් කියා දීම, වන්දනා කරවීම ආදියෙන් කාලය ගත කළෙමි. නිවන් සැප විඳීමකැයි ප්‍රීතියෙන් එහි වාසය කළෙමි. ජීවමාන බුදු පියාණන් වහන්සේ ලඟ වසමියි ජීවත් වුනෙමි. මම බුදු ගුණ වැඩීමට හොඳම තැන ලදිමි.
අපවත්වී වදාල ගන්දර ආනන්ද නායක හිමි වෙනුවෙන් පූජ්‍ය තිරිකුණාමළේ ආනන්ද අනුනාහිමි විසින් “තිරියායේ නාහිමි සදුනි” නමින් 2004.04.11 වැනි දින දෑ හිතකාමී දිවයින පත්‍රයේ පළ කල කවි පන්තිය මෙසේය.
නිතුපත් පාණ මහ වෙහෙරේ තිරියායේ
කෙස් දා නිදන් කොට කැරවූ මහ සෑයේ
කතු රැස් මතු කෙරූ යලි මේ දියදායේ
මහ සඟ පතිඳ්‍ර රුව දැකුමක් නැත ආයේ
වග වලසුන් ගහන මහ ගන වනන්තරේ
නෙත නිදි නැතිව විඳිමින් දුක් නිරන්තරේ
හිමි නොසිටින්න පා මෙත බොදු දනන් කෙරේ
නැත අද අසනු තිරියායේ කතන්දරේ
උරුම කැර දෙමින් උරුමය නැගෙනහිර
බුරුම කුඩය හා දරමින් තුන් සිවුරු
කරුමයක් සේ නො සිතූ විඳි දුක් දහර
අරුම හිමිගේ හසරැල්ලයි මුව තඹර
දම්දර වෙලා පෙර බුදු පුත් මඟ වැඩිය
පින්සර වීමු ඔබ සෙවණින් ලැබ එඩිය
ගන්දර අනඳ හිමි නාමෙන් හෙළ කොඩිය
ගම්බර වේවි හෙට දින පෙරටත් වැඩිය
නිමි.