skip to Main Content

1930 වර්ෂයේදී රජයේ ගැසට් නිවේදනයකින් තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් තිරියාය ගමේ බටහිරින් වූ පැරණි ගිරිකණ්ඬයේ කේශ ධාතු චෛත්‍යය ඇරඹූ බව, ගලේ ලියූ ලියවිල්ල (සෙල් ලිපිය) නිසා අණාවරනය විය. දක්ෂිණ දිශා ශිලාමය පඩි ‍පෙළේ අඩි 150ක් පමණ නැගෙත්ම වමතින් කටාරම් කෙටූ ගල් ලෙනකි. එහි කළුගල් යොදා සමතලා මිදුලක් තනා තිබේ. ඒතැනින් අඩි 100 ක් පමණ පඩි පෙළේ නැගෙන විට සෙල් ලිපියක් සමග ගල් ලෙනකි. මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේ පමණ ලෙන සඟ සතු කළ බැව් සෙල් ලිපියෙන් දැනගත හැක. මෙම ගල් ලෙනෙන් මදක් උඩට වන්නට මතුපිටින් පරීක්ෂාවෙන් බලා කියවිය හැකි තිරියාය සෙල් ලිපිය හමුවේ. ඔප මට්ටමින් තොර ගල් තලාවේ පේලි 11 කින් නිමි මේ ලිපිය 8 වන සියවසට අයත්ය. සංස්කෘත, දේවනාගරාක්ෂරයන්ගෙන් ලිපය ලියවී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන සංග්‍රහයේ සිව් වැන්නේ පුරාවිද්‍යා අධිකාරී මහාචාර්ය පරණවිතාන විද්‍යාකීර්තීන් විසින් තිරියාය සෙල් ලිපියේ පේළි එකොළස, ගිරිහඬු සෑය වන්දනා කරන වාක්‍ය 11 ක් ලෙස හඳුන්වා දී ඇත. ඒහි 10 වැන්න ශ්ලෝක නර්දට වෘත්තයෙන්ද 11 වැන්න උපජාති වෘත්තයෙන්ද බදනා ලැදයි පවසයි. ඒසේම කාලයේ උවදුරු වලින් වැනසී ගිය අකුරු පිළිබඳවද අදහස් දක්වාලයි. ගිරිහඬු සෑය පිළිබඳව මහායාන බෞද්ධයන්ගේ භක්ති ගීතයක් වූ ඒ ලිපිය ඔබද මෙසේ ගායනා කරන්න.

ගිරිකණ්ඬි චෛතයය වන්දනා ගීතය

අවිරත භක්ති යුක්ත හෘදයෛරවදාන ගුණෛනං

ප්‍රථමතර ප්‍රදාන ගුණ මූර්තිහිරේක ගුරෙ

භගවති ශාක්‍ය රාජ තිලකෙ සුගතෙ සුතරා

මධිගත ධාතුරු ජ්වලිනී සම්මුඛමේව මුනේ

බැති හදවතින් හා පවිත්‍ර ගුණයෙන් හෙබියා වූ ඒක ගුරු භාග්‍යවත් ශාක්‍ය රාජතිලක සුගත බුදුන් වහන්සේ හමුවේදීම කේෂ ධාතූන් වහන්සේ බබලයි.

සලිල නිධි ප්‍රයාණ චතුරෙඃක්‍රය වික්‍රයහිඃ

බහුවිධ යාන පාත්‍ර පරිපූරක භාන්ඩ ශතෛඃ

කුශල වසාත් නිජ දේවතයාපි සදා

භවතී භවීෂ්‍ය දල්ප ගිරිකණ්ඬික මිත්‍යුදි‌තෙ

සමූද්‍ර තරණයේ සමත් වූ පෙර පින් ඇති තපස්සු භල්ලික වෙළඳුන් විසින් සිය ගණන් බඩු බාහිරාදිය පුරවා ඇති නැව් වලින් පැමිණියමුන්ට සහලේ දෙව්දූ විසින් කුඩා ගිරිහඬුසෑයක් වන්නේයැයි කියේද?

සලිල නිධිස්ථෛඃ සමවතීය්‍යී සමනේ ගුණෛ

රූපගත නාගරාජ සිමිතෛ රූප ශාන්ත තරෛඃ

තදපී වර්ණගණෛඃ කෘතමිදං ප්‍රවිහාති මුදා

වර ගිරිකණ්ඬි ච්‍යෛ මිතියත් ප්‍රතිතම් භුවනෙ

සමූද්‍ර තරණය කළ ගුණවත් නාගරාජයන් සමග උපසාන්ත වූ වෙළඳ සමූහයා විසින් සතුටින් කරන ලදැයි ලොකප්‍රකට වූ ඒ මේ ගිරිහඬු සෑය බබළයි!

….. සකළ මාවෘත මම්බූරුහ

ප්‍රකර කෘතෝපහාර රුචිරඬ්ගත භූමිතලම්

සතත මහි ප්‍රසන්න නර මණ්ඩල භක්ති නක්‍රම්

වර ගිරිකණ්ඬි චෛත්‍යය මහිනම්‍ය කරොමි නතම්

නෙළුම් මලින් පුද ලදින් සෑය අවට බිම (මළුව) අලංකාර වූයේ නිතර ප්‍රීතියෙන් භක්තියෙන් මහජනයා වන්දනා කරන්නෝය. මමද ඒ ගිරිහඬුසෑය නැමී නමස්කාර කරමි.

මකුට මණෞ කෘත ස්ථූට මහා මුනි බිම්බධරො

නිවසති යත්‍ර සිඬ සුර කින්නර පූජ්‍ය තමඃ

ගුරුරව ලෝකිතේශ්වර ඉති ප්‍රථිතො භගවාන්

තදහරහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍යමහම්

මහා මුනි (බුදු) රුවන් නෙළුෑ මාණික්‍ය සහිත ඔටුන්න දරන්නා වූද, සිද්ධ සුරකින්නරයන්ගේ පූජා ලබන්නා වූද, ගරු වූ අවලෝකිතේස්වරයයි ප්‍රසිද්ධ භාග්‍යවත් හූ යම් තැනෙක වෙසෙත්ද ඒ ගිරිහඬු සෑය මම දවසක් දවසක් පාසා නමස්කාර කරමි.

මුනිරපි මඤ්ජුවාග් මදන දෝස විසාද හරඃ

කණක විභූෂණේ ජ්වල විචිත්‍ර ගාත්‍ර රුචිර්

නියත මුපෛති යත්‍ර සුකුමාර තනූර් භගවාන්

තදම්පි ප්‍රණෞමි ගිරිකණ්ඬික චෛත්‍ය වරම්

මද දොස් විසාදය හරින්නා වූ රන් බරණින් බබළන ගතින් හෙබියා වූ සුකොමල ශරීරයක් ඇත්තාවූ මඤ්ජු වාග් (මඤ්ජු ශ්‍රී) මුනිතෙමේ නියතයෙන් යම් තැනකට එළඹේද ඒ ගිරිහඬුසෑය මමද ප්‍රණාමය කරමි.

සුර සරිදබ්ජ පර්ණා පුට පූරිත ගන්ධ ජලඃ

කරහෘත පුෂ්ප ධූප මණිදීප නිවේද්‍ය ධරඃ

සලලිත මඬගනා සයුර පුරාදව තිය්‍යර් මුදා

විධදති පූජනං භගවතො ගිරිකණ්ඬි පූෂඃ

අහස් ග‌ෙඟ් (හටගත්) නෙළුම් පත්‍ර වලින් තැනූ ගොටු පුරා සුවඳ පැන්ද පියුම්ද සුවඳ දුම්ද මිණි පහනින්ද නිවෙදයද අතින් ගෙන සුරංගනාවෝ සුරපුරෙන් ලීලාවෙන් බැස ගිරිහඬු (ගල්තලා) වෙහි ප්‍රීතිවන්නාහු භාග්‍යවත් බුදුන් වහන්සේ පුදති.

සුරපති රජ්‍යනෙ පරිවාර සුරානුගතඃ

සලලිත දිව්‍ය ශඬ්ඉ පටහ පුනිධානුගතඃ

සුරතරු සම්භවාද්‍ර කුසුම් ප්‍රකර විකිරන්

වරගිර කණ්ඩිකේ ප්‍රණිපතන් කුරුතේ සුකුරුතම්

සුරපති වූ සක් දෙවිඳු අනේක පරිවාර දෙවියන් සමග දිව්‍ය ශඩබ හෙරින් උසස් නාදයෙන් ලීලෝපෙතව දිව්‍ය වෘක්ෂයන් සිසිල් කුසුම් පොකුරු පොකුරු විසිරුවමින් උතුම් ගිරිහඬු (ගල්තලා) වට බසිමින් භක්තියෙන් වැඳුම් පිදුම් කරති.

ප්‍රතිදින මර්චයමාන මහධිහිරනේක ශතෛඃ

අවිරල සිංහලෙනද්‍ර ජන කල්පිත පූජ්‍ය ශතමි

විෂය නිරීහ කාරණ මුපාසිත මාය්‍ය ශතෛං

රතමපි පූජයාමි ගිරිකණ්ඬිගතම් සුගතම්

දිනපතා මහ නණවතුන් විසින් පුදනු ලබන්නා වූද සිංහල රජ දරුවන් හා මහජන සමූහයා විසින් නිතර පැවැත්වූ සිය ගණන් පූජා (වස්තු) කටයුතු වලින් නොඅඩු වූද සිය ගණන් ආර්යය (නිකෙලෙස්) ජන සමූහයා විසින් ගැවසී ගත්තාවූද, පස්කම් සැප දුරු කිරීමේ උපායමාර්ගයක් වූද, ගිරිහඬු (ගල්තලා) වට වැඩම වූ සුගත බුදු පියාණන් වහන්සේට මමද පූජා කරමි.

සකල තමො පහමහගවතෝ දශ බූමිගා

වර ගිරිකණ්ඬි නිලයේ ප්‍රතිනිම්නදියා

ඉතිනුව තාමයද් භවත් කුශලම් ප්‍රචීතම්

භවතු භවාබ්ධි දුඃඛ පරහින මතේත ජගත්

සකලාන්ධකාරය පහකරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ කේශධාතු නිධන්ගත සෑයේ ගේ දෙස බැලූ සිතින් ලැබූ යම් ඒ කුශල සමූහයක් වේද එයින් ලෝ වැසියා සසර දුක කෙළවර කෙරෙත්වා!

කෘත ප්‍රති‌ඥෛ ම ……….

…………… යාන

ත්‍රපුෂ්‍යතෛර් වල්ලිකෛර් වර්ණගතණෛඃ

කෘතං කෘතාර් ථෛඃ ගිරිකණ්ඬි චෛත්‍යම්

“රාසවාස් සවභාවාස් සර්ව ධර්මාඃ”

සියළු ධර්මයෝ නැසෙන සුලුය.

දැන්වූ කටයුතු නිමවා ත්‍රපෂ්‍ය භල්ලික වෙළඳ සමාගම මගින් ගිරිහඬුසෑය කරන ලදි.

stone-letter-tiriyaya

මේ සෙල් ලිපියටම සම්බන්ධ වූවකැයි පැවසෙන වාක්‍යක් මේ අසලම ගලේ පඩි පේලිවල යාව ලියා තිබේ. පඩි පේළි ගැන එන අයට ගල්ලෙන සමීපයේ වූ මේ සෙල් ලිපිය බැලිය හැකිය.

“සිංහලේනද්‍ර සිලාමේඝ මහාරාජස්ය්‍ය ත්‍රයො විංශිතිමේ වර්ෂේ රාජ්‍යෙ ලිඛිතම්”

සිංහලේන්ද්‍ර (අග්‍රබෝධි) සිලාමේඝ මහ රජුගේ විසිතුන්වැනි රාජ්‍ය වර්ෂයෙදී ලියන ලදි.

ක්‍රි.ව. 733 දී අනුරාධපුරයේ රජ වූ මේ අග්‍රබෝධි සිලාමේඝ රාජ්‍යයන් මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළ ගිරිහඩු සෑය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර ඇත. ඉන්දියාවේ කාංචි පුරයේ රජය වූ නරසීහ පොත වත්මන් පල්ලව රාජයන්ගේ හිත මිත්‍රයකු වූ සවන අග්බෝ රජතුමන් දකුණු ඉන්දියාව චීනය ආදී විදේශ සම්බන්ධතාවකින් රට රැකවරණය කළ බැව්ද විදේශීය සටහන් වලින් පෙනී යයි. තිරියාය සෙල් ලිපියේ අකුරු වලට සමාන සෙල්ලිපි අකුරු කාංචිපුර රාජධානියේදී හමු වී ඇත. මේ සෙල්ලිපිය හැර මිහින්තලේ ත්‍රිකායසතව මහායාන ත්‍රිකාය නමස්කාරයද මහායාන බෞද්ධ අදහස්වලින් ජාත්‍යන්තර සබඳතාවය තහවරු කරයි.

අමොඝ වජ්‍ර මහායාන බෞද්ධ තෙරුන් ගෞරවයෙන් පිළිගෙන ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවන අතරේ තිරියාය සෙල්ලිපියද ලේඛනගත වීයැයි සිතිය හැක. අමොඝ වජ්‍ර තෙරුන් පිළිබඳ ඇතැමුන් ලාංකිකයකු හැටියටද පිළිගෙන ඇති නමුත් උතුරු ඉන්දියාවේ බමුණු කුලයක උපතලද්දේ යැයි සඳහන්ය. මේ තෙරුන්ගේ ආචාර්යවරයා වූ ලක්දිව මහායාන ධර්ම ප්‍රචාරයේ යෙදුන වජ්‍රබෝධි තෙරුන් දකුණු ඉන්දියාවේ මලය දේශයේ උපන්නෙකි. මේ තෙරවරු දෙපොළ ඉන්දියාවේ, චීනයේ, ලංකාවේ ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදුන අතර බෞද්ධ ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා ඇත. එසේම රාජ පූජිතයෝද වූහ.

මහායාන බෞද්ධ කවි කෝකිලයා මෙතරම් සුමධුර සුලලිත ගීතයක් ගැයීමට භක්තිමත් ශ්‍රද්ධාවකින් වන්ධනා කිරිමට චිත්තචේගයක් පහළවූයේ කුමක් නිසාද? අදත් මේ නටබුන් වූ අති පූජනීය ස්ථානයට පා තැබූවෙක් නෙත් සිත් හෙළු කෙනෙක් වෙත්ද ආගම භක්තියෙන් පිනායෙත්, ස්වභාවික සෞන්ධර්යයෙන් ප්‍රමෝද වෙත්, කලා කෞෂල්‍යයෙන් අභිමාන වෙත්, ජ්‍යාත්‍යාලයෙන් වේගවත් වේත්.

තිරියාය සෙල් ලිපිය ලියන කාලයේ එය ගිරිහඬු පෙදෙස් වැසියන් අතරේ මුල් බැසගත් කට කතාවක් විය යුතුය. මේ කාලය වන විට තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් ලක්දිව පැමිණ කේෂ ධාතු තැන්පත් කර වර්ෂ 1200 ක් පමණ වෙයි. එතෙක් පරම්පරාගත මහා ජන මතයක් ගලේ ලියවි ගියේය. අග්‍රබෝධි සිලාමේඝ රජයන්ගෙන් පසු පරසතුරු උවදුරින් විනාශයට පත් ගිරිහඬු වෙහෙර මහා විජයබාහු රජු විසින්ද ප්‍රතිසංස්කරණය කළ බව මහා වංශයේ ලියවී ඇත. දොළොස්වන සියවසින් පසු ලක්දිව නැගෙනහිර වෙරළ ප්‍රදේශය සිංහල බෞද්ධයන්ගෙන් හිස්වූයේ චන්ද්‍රභානු මාඝ ආදී පරසතුරන්ගේ යුද වැදීම් නිසායැයි ඉතිහාසයෙන් පෙනේ. එදා ආරක්ෂා ස්ථානයක් බලා ගිය ගිරිහඬු පෙදෙස් වැසියන් දෙවන පැරකුම්භා රජු දවස මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර ස්ථිවරියන් වහන්සේ හමුවේ ගිරිහඬු පුවත කියා ඇත. එහෙයින් උන්වහන්සේ පූජාවලියේ අරිහත් ගුණය වර්ණනා කරමින් වර්ෂ 1700 පැරණි පුවතක් මෙසේ ලියන ලදි.

උපුටා ගැනීම: මෙසේ මේ සත්වන සතියේ  බුදු වූ පනස් දා මුළුල්ලෙහි ආහාර කෘත්‍යක් නැතිව නිවන් සුව වදාළ දවස් යැවූ කළ බුදු වූ පනස්දා උදෑසන අරුණ නැගී වෙලෙහි ශක්‍ර දේවේන්ද්‍රයා අමා අරළු සුණුකඩක් ශ්‍රී හස්තයට පිළිගන්වා ලීය. ඒ දිව්‍යමය අරළු වැළඳූ කළ බුදුනට සිරුර පිළිදැගුම් විය. එකෙනෙහි මාගේ ස්වාමි දරුවෝ පන්සීයක් යොදුන් උස හිමාලයෙහි සම පනස් යොදුන් අනවතප්ත විලට වැඩ අනනා පරියනත වූ බුදුනනටම නියමව තැබූ සුගත නම් තොටට බැස එම ශක්‍ර දේවේන්ද්‍රයා විසින් පිළිගැන්වූ නාලිය දැහැටි වළඳා මුඛ දෝවනය කොට නැවත වැඩ එම කිරිපලු රුකමුල වැඩ හුන් සේක.

එකළ බුදු කෙනෙකුට අග්‍ර භෝජනයක් දෙමියි කල්ප ලක්ෂයක් පතා ආ තපස්සු භල්ලික නම් වෙළඳ දෙබෑ කෙනෙක් උතුරු දනව්වේ සිට පන්සීයක් ගැලින් බඩු පුරවාගෙන මධ්‍ය මණ්ඩලයට යන්නාහු ඒ කිරිපලු වනයට පැමිණියාහ. පෙර ඔවුන් සහලේ නෑ දේවතා දුවක් ඒ වනෙහි වසන්නී. වෙළඳ දෙබෑයන් යන්නවුන් දැක උන් ලවා අද බුදුනට දන් දෙවා උන්ට වැඩක් කෙරමියි සිතා උන්ගෙන යන පන්සීයක් ගැල් නභිය දක්වා පොළව ගලාපුව අදනා ගොන් දණබිම ඇන රදා ගියහ. වෙළඳ දෙබෑයෝ බියපත්ව මේ වනයෙහි මේ වනෙහි දෙවි කෙනෙකුන් කළ වැඩකයි දැන ගඳ දුම් මල් පහන් පුදා දෙවියන්ට ආරාධනය කළහ. එකළ දේවතා දූ දෙව් පිරිස් පිරිවරා ආකාශයේ සිට ඔවුනට පෙනී භයහරවා මාගේ බුදුහු බුදු වූ දා පටන් එකුන් පනස් දවසක් මුළුල්ලේ තව දක්වා නිරාහාරයෙන්ම සත් සතියක් යවා දැන් මගේ මේ වනෙහි පින් කෙත්ව වැඩහුන් සේක. තොපටත් මටත් පින් පිරූ පරලෝ වැඩ නිසා බුදුනට අග්‍ර භෝජනයක් දෙවාලනු කැමැත්තෙමි. මෙසේ බුදුන්ගේ ගුණ කියා බුදුනට දනක් දෙන සේ ඔවුන් සමාදන් කරවා ගෙන ඒ පන්සීයක් පෙරටුව සිට ආරාධනය කළහ. මහා බ්‍රහ්මයා පිළිගැන්වූ පාත්‍රය කිරිපිඬු පිළිගැන්වූ වීමට අන්තර්ධානව ගියහ. කිරිපිඬු පිළිගත් තළිය නාග භවනට ගියේය. එසේ හෙයින් බුදුහු නම් පාණී පාත්‍රයෙන් නොපිළිගනිති. කවර පාත්‍රයකින් පිළිගනිම් දො හෝයි සිතාවදාළ සේක.

එකෙනෙහි මාගේ ස්වාමිදරුවාණන් වහන්සේ සසර ජාති ජාතියෙහි දන් දුන් චතු මධුර පූර්ණ පාත්‍රයන්ගෙන් ආනුභාවයෙන් වරම් රජ දරුවෝ  සතර දෙන ඉන්ද්‍ර නීල මාණිකම්‍ය පාත්‍රා සතරක් ගෙනාහ. බුදුහු පෙර බුදු වරුන්ගේ චාරිත්‍ර බලා ඒ පාත්‍ර නොඉවසා වදාළ සේක. නැවත මුං වන් පැහැති ශෛල පාත්‍රා සතරක් ගෙනවුත්  “මාගේ පාත්‍රයම ගත මැනව, මාගේ පාත්‍රයම ගත මැනවයි” කියා බුදුනගේ ශ්‍රී හස්ථය නැමැති පියුමට බස්නා නීල භෘංග රාජයන් සතර  දෙනකු සේ මතු මත්තේ තබාපීහ.

බුදුහු වරමුන් සතරදෙනාට අනුග්‍රහ සඳහා සතර එක පාත්‍රයක් වේවායි අධිෂ්ඨාන කොට වදාළ සේක. එකෙනෙහි සතර පාත්‍රයම එක්ව ඇලී සතර මෝවිට තෝරා රේඛා පෙනී එක් පාත්‍රයක් විය. එකළ බුදුහු ඒ පාත්‍රයෙන්ම මී පිඬු පිළිගෙන පළමුවන භෝජනය වළඳා ඒ වෙළඳ දෙබෑයන්ට අනුමෙවෙනි බණ වදාරා බුත් සරණ දම් සරණ පිහිටුවා ඔවුන් බුදු සස්නෙහි දේවේවාචික උපාසක කළ සේක. ඒ වෙළඳ දෙබෑයෝ “ස්වාමීනි නිති අපට වැඳ පුදා ගන්නා නියායෙන් වස්තුවක් දුන් මැනවයි”යි කීහ. ස්වාමි දරුවෝ ශ්‍රී හස්ථයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක් දුන් සේක. ඔහු රුවන් කරඬුවකින් ඒ කේශ ධාතු පිළිගෙන රඔයෙහි තබා සිය නුවරට ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජල යාත්‍රාවේ ඇවිද ශ්‍රී ලංකා දීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව තැබූ පළින් සොළවාගත නොහී මේ උත්තම ස්ථානයක් වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ. එතන නම් වෙහෙරක් විය. (උපුටා ගැනීම අවසන්)

(පූජාවලී 12 වැනි පරිච්ජේදය)

Back To Top