skip to Main Content

ගිරිහඬු පෙදෙස ගිරිහඬු වෙහෙර (ගිරිකණඩි චෛත්‍යය) සොයා බැලීම සේ ගිරිහඬු රාජ්‍ය ප්‍රදේශය ලංකා ජාතික ඉතිහාසයට ඉතා වැදගත් වේ. ආදීම ලංකා ඉතිහාසයේ මැකී ගිය තොරතුරු තිරියාය සෙල් ලිපිය මගින් අනාවරණය වේ. ඒසේම ග්‍රන්ථාගත ගිරිහඬු සෑයේ විස්තරය සදහටම අමතක නොකළ යුතු සේ ලියවී ඇත. පූජාවලියේ කියන වෙළඳ දෙබෑයන් තිරිකුණාමලේ තිරියායට පැමිණි බව තිරියාය සෙල් ලිපියේ පැහැදිලිව ඇත. ගිරිකණ්ඬ ගිරිහඬු පෙදෙස පාලනය කළ අධිපතියකු ගැන සමන්තකූටය වර්ණනාවේ ලියා තිබේ. ඔහු බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩි ප්‍රථම ගමනේදී බුදු බණ ඇසූ බව ඒහි සඳහන්ය. ඒසේම එයට පසුව පඩුවස් දෙව් රජුගේ බාල පුත්‍ර සිව කුමරුද ගිරිකණ්ඬ සිව නමින් පෙදෙස පාලනය කළ බව අපේ වංස කතා වලින් කියවේ.ගිරිකණ්ඬ නමින් අමුතු නමක් යෙදී ඇත්තේ පාලන ප්‍රදේශ නාමයත් ව්‍යහාරයට ගැනීමෙන් විය හැකිය. ගිරිකණ්ඬ සිව රජු විසින් සියක්කිරියේ යායේ ගොයම් කපවමින් සිටිනාතර දූකුමරිය වෑදම ගෙන යද්දී පණ්ඩුකාභය කුමරු ඇය පැහැරගෙන ගිය බවද ඉතිහාසයේ සඳහන් වේ. මේ ආදී කරුණු නිසා ගිරිහඬු පෙදෙස අමතක කළ යුතු නොවේ. ක්‍රි.ව 733 දී අනුරාධපුර රාජධානියේ රාජශ්‍රීයට පැමිණි අග්‍රබෝධි සිලා මේඝරජු යුද හමුදා සමල මෙහි නැවතී ලංකාවේ ආරක්ෂා කටයුතු මෙමෙයවූ බවද ඉතිහාසයෙන් පෙනේ. මේ අනුව සිතා බලන විට ලංකා රාජ්‍යයේ ඉතා සැලකිය යුතු තොරතුරුවල හිමිකමක් ගිරිහඬු පෙදෙසට අයත්ය.

ගිරිකණ්ඬ සිව රජුගේ සියක්කිරියේ යාය අද යාං ඔය ව්‍යාපාරය නමින් ගොවි ජනපදයක් වේ. ඩී.ඇස් සේනානායක අග්‍රාමාත්‍යතුමා ලංකාව ඒකම ගොවි බිමක් කිරීම සඳහා යොදා ඇති සටහන් වල එසේ යොදා තිබේ. ආදිම අවදියේ යාංඔය සුදුසු වාරිමාර්ගයකට යොදා ඇත්තේ ගිරිකණ්ඬ සිව රාජ්‍ය සමයටත් පෙර යැයි සිතිය යුතුයි. ගිරිකණ්ඬ පර්වතය ආදීම රාජධානියක්ව පැවති සමයේ වෙළඳ කටයුතු වලටද යාන් ඔය තොටුපල ලෝක ප්‍රකට වූයේ ද? කල්වරාය (ගල්වරාය) තුළින් යාංඔය ඔස්සේ වෙළඳ යාත්‍රා ගමන් ගත් බව තිරියාය සෙල් ලිපයේද තපස්සු භල්ලික වෙළඳුන්ගේ ගමන් විස්තරය පෙන්වා දෙයි.

මේ වෙළඳුන්ගේ සිහිවටනය එදා කේශධාතු තැන්පත්කර ගිරිහඬු සෑය ඇරඹීමෙන් පිහිටුවිය. එතැන් පටන් ගිරිකණ්ඬය නීතුපත්පාන නමින්ද හඳුන්වා ඇත. වෙළඳ නායකයන් පැමිණි ගල්තලය  යන අන්වර්ථ “නෙතු පතන පාසාණ” යන පාලි වචනය ශබ්ද ධර්මය අනුව ජනතා ව්‍යහාරයේ “නීතුපත්පාණ” වූයේය. ගිරිහඬු සෑය නීතුපත්පාණ විහාරය වූයේද ඒ නිසාමය.

ක්‍රි.ව. 67 දී පමණ ලංකාවේ රජය වූ වසභ රජු විසින් නීතුපත්පාණ කඳු වැටියේ ආධාරයෙන් නිම කළ වැවද නීතුපත්පාණ වැව යනුවෙන් පූජාවලියේ සඳහන් වේ. මහනුවර රාජධානි සමයේ ලියූ නම් පොතටද විහාර ලේඛනයේ නීතුපත්පාණ නාමයම ගැනීමෙන් පෙනී යන්නේ වනගත ඉතිහාසයේත් නීතුපත්පාණ නාමය ජනප්‍රිය වීමයි.

ක්‍රි.ව. 412 ටත් පෙර ගිරිහඬු වෙහෙර බලා තෙරුවන් පැහැදි බුද්ධාලම්භන උද්වේග ප්‍රීතියෙන් අහසින් සෑය ළඟට විත් බණ දහම් ඇසීමටසිංහල බෞද්ධ කාන්තාවන්ගෙන් ගැවසීගත් ගිරිහඬු පෙදෙස 12 වන සියවස වන විට බෞද්ධයන්ට අහිමි වී ගියේය. පර සතුරු යුධ උවදුරු නිසා වනගත පෙදෙස් රුහුණු මායා පෙදෙස් බලා සිංහලයෝ ගමන් ගත්හ. සැතපුම් දෙකක් තුනක් ගිය තැන පැරණි අනුරාධපුර රාජධානි කාලයේ වූ වෙහෙර විහාර පෙති පිළිම අද දක්නට ලැබෙන මේ ගිරිහඬු පෙදෙස වනගත විය.

නැවත රුහුණු මායා පෙදෙස් වලින් රජරට දෙසට ගමන්ගන්නා අවදියේ කැලෑ එළි පෙහෙළි කරමින් මුතුන් මිත්තන්ගේ නිජබිම් වල ක්‍රමයෙන් ලැගුම් ගත්හ. ඒ් වන විට ඉන්දියාවෙන් හොරෙන් ගොඩබට ද්‍රවිඩ ජනයා වැදි පරපුරක් බිහිකරමින් සිටියද යාපනයෙන් ඔවුන්ගේ ප්‍රධානත්වයටද ද්‍රවිඩයන් පදිංචි වූහ.

ගාලු මාතර පෙදෙස් වල අපේ ඥාතීන් එනවිට යාපනය මුලතිව් ත්‍රීකුණාමළය මඩකළපුව අනුරාධපුරය ආදී එදා ජන්ම භූමි නැවත යථා තත්වයට පත්කර ගැනීමට නොහැකි තත්වයක තිබුණේය. එහෙත් වීරෝධාර ලේ වල ශ්‍රෘයෙන් ඉදිරි ගමන අදත් අභීතව ගෙන යති. අවුරුද 50 ක පමණ කාලයේ පටන් අපේ ඥාති හිතෛයිශීන්ගේ වූ අධිෂ්ඨානය සඵල කර ගනු වස් මේ ලියන මට ද ගිරිහඬු සෑයේ නතර වීමට ආරාධනා ලැබිණ. සේරුවිල නාහිමියන්ගේ පැමිණිමෙන් ත්‍රිකුණාමළය මඩකළපුව පැරණි තත්වයට ගෙන ඒමට රුකුලක් විය. අදත් බිහිසුණු වන සතුන්ගෙන් ගැවසීගත් සර්පයන්ගෙන් ගහන වූ වනදුර්ගයේ මදුරුවන්ගෙන්ද පිරී ඉතිරී ඇත. 1955 වර්ෂයේ අපේ ඥාතීන්ගේ බලවත් ඉල්ලීම නිසා ස්ථානයේ ලැගුම් ගතිමි. විශාල ගිනි ගොඩවල් ගසා එහි ආවරණයෙන් සැක බිය දුරු කර කාලය ගෙවීමි.  දුකසේ ආහාර ඇතැත් නැතැත් සෑය ඉදිරියේ දිනකට වැඳුම් පිදුම් තෙවරක් පැවැත්වීම, වතාවත් කිරීම, යනෙන සැදැහැවතුනට සිල් සමාදම් කරවීම,බණ දහම් කියා දීම, වන්දනා කරවීම ආදියෙන්  කාලය ගත කළෙමි. නිවන් සැප විඳීමකැයි ප්‍රීතියෙන් එහි වාසය කළෙමි. ජීවමාන බුදු පියාණන් වහන්සේ ලඟ වසමියි ජීවත් වුනෙමි. මම බුදු ගුණ වැඩීමට හොඳම තැන ලදිමි.

කැලේ ඉවත් කරමින් කැලේ වන සතුන් සමග ගමන් කරමින් ප්‍රදේශයේ පුරාවෘත්තය තව තවත් සොයා බැලුවෙමි. විමසා බැලුවෙමි. පොත පතින් කියවා බැලුවෙමි. ඒම නිසා මේ යටපත් වී තිබූ අපේ අතීතය ගැන යමක් මෙසේ ලිවීමට අදහස් ලැබිණ. අද තිබෙන තත්වයට මේ ප්‍රදේශය දියුණු කරලීම සඳහා මගතොට අධ්‍යාපනය ආර්ථිකත්වය නගාලීමට පුලුවන් උත්සාහ ගනිමි.

පූජාවලියේ හා ශිලා ලිපියේද සඳහන් පැරණි නාමය රජය මගින් “ගිරිහඬු සෑය”නමින්ම යෙදීමට උත්සාහවත් වේවා! මෙලෙසින් සේරුවිල, නාගදීපය, දීඝවාපිය, මහියංගනය, තිස්සමහාරාමය, මිහින්තලය ආදී ග්‍රාම අද යෙදී තිබේ.

Back To Top