පෙරවදන
නීතුපත්පාන, ගිරිහඬු සෑය යන නම් වලින් හඳුන්වනු ලබන ඓතිහාසික පූජනීය ස්ථානය තිරිකුණාමළය දිසාවේ කඩ්ඩුකුලම පත්තුවෛ් තිරියාය ග්‍රාමයේ පිහිටි ඉතා වැදගත් පුද බිමකි. යාන්ඔය නිම්නයෙ වූ දර්ශනීය කඳු ගැටයක අද මෙහි නටඹුන් විසිර පවතී. බුදුරජාණන් වහන්සේගෙන් කේශ ධාතු ලබාගත් තපස්සු සහ භල්ලික වෙළඳ දෙබෑයන් විසින් මුලින්ම මේ පුදබිම ආරම්භ කරන ලදි. වෙළඳාම පිණිස දඹදිව සිට මුහුදේ යාත්‍රා කළ මොවුහු යාන්ඔය මුහුදට පිවිසෙන, පැරණි ගල්වරායෙන් ගොඩබැස රට තුලට පිවිස මෙකී කඳු ගැටය මත ධාතු කරඬුව තැන්පත් කොට ඓතිහාසික ගිරිහඬු සෑය නිර්මාණය කරන ලදි.
ඉහත සඳහන් සිද්ධිය සිදු වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයක බැවින් ගිරිහඬු සෑ ධාතු ගර්භයේ වැඩ සිටිනුයේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතූන් වේ.
බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ සත් සතිය ගතකොට 50 වන දිනය එළඹ කල්හි ශක්‍ර දේවේන්ද්‍රයා දිවසින් බලා අරලු වලින් නිම කළ දැහැටි දණ්ඩක් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීය. ඉන් පසුව මුව සෝදා ප්‍රථම දානය වැළඳීමේ බලාපොරොත්තුව ඇතිව වැඩ සිටි අතර පෙර ප්‍රාර්ථනාවන් ඉටු වීම වස් තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් මේ අසලින් ගැල් 500 ක් රැගෙන වෙළඳාමේ යෙදුනු අතර සහලේ දේවතාවිය ගැල් පොළවේ එරීමට සලස්වා පෙර අත් බැව් ප්‍රාර්ථනාවන් ඉටු කර ගන්නා ලෙස ඔවුනට පවසන ලදි.
ප්‍රථම දානය පිලිගැන්වීම සඳහා සතර වරම් දෙවිවරුන් පිලිගැන්වූ පාත්තර සතර බුදුරදුන්ගේ ප්‍රාර්ථනාවක් අනුව එක් පාත්ත්‍රයක් බවට පත්කර ගෙන තපස්සු සහ භල්ලික වෙළඳ දෙබෑයන් විසින් පිලිගන්වන ලද විළඳ සහ මී පැණි ප්‍රථම දානය වැළඳූ සේක. චිත්තප්‍රබෝධයට පත් වෙළඳ දෙබෑයන් බුදුන් දහම් සරණ ගිය ප්‍රථම දේවෝවාචික උපාසකයන් බවට පත් වූහ. තපස්සු සහ භල්ලික දෙදෙනා බුදුරජානන් වහන්සේ වන්දනා කිරීමට යමක් ඉල්ලූ විට බුදුරදුන් තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දෙන ලදි. ඔවුන් එම කේශ ධාතූන් වහන්සේලා සත්රුවන් කරඩුවක තැන්පත් කර වෙළඳාමේ යන තැන්වලට ගෙන ගොස් වැඳුම් පිදුම් කළ අතර ලංකාවට පැමිණ ගිරිකන්න ප්‍රදේශයේ ගිරිකන්න පර්වතයට පැමිණ වෙළඳාම් කර නැවත යාමට සැරසුනු විට එම කරඬුව, තැන්පත් කර තිබූ ගල් පර්වතයටම සවි වී තිබිණ.
ඉන් පසුව බුදුන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථමයෙන් ශේෂ වූ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කොට තුන් ලෝකයේ ඉදිකරන ලද ප්‍රථම ස්තූපය වන ගිරිහඬු සෑය තපස්සු සය භල්ලික වෙළඳ දෙබෑයන් විසින් නිර්මාණය කරන ලදි. එපමණක් නොව ගම රට ගිය දෙබෑයන්, සත් රුවන් කරඬුවක තැන්පත්, කර වඳින පුදන කේශ ධාතූන් වහන්සේලාගෙන් දෙනම බැගින්, වෙළඳාමේ යනෙන සෑම රටකම වාගේ තැන්පත් කර දාගැබ් පිහිටුවා ඇත. බුරුමය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ආදී රටවලද අද දක්නට ලැබෙන ඒ දාගැබ් වලින් ඒ බැව් පෙනී යයි.
බුද්ධානුසාසනාව
තිරියාය සෙල් ලිපිය
දක්ෂිණ දිශා ශිලාමය පඩි පෙළේ අඩි 150ක් පමණ නැගෙත්ම වමතින් කටාරම් කෙටූ ගල් ලෙනකි. ඒහි කළුගල් යොදා සමතලා මිදුලක් තනා තිබේ. ඒතැනින් අඩි 100 ක් පමණ පඩි පෙළේ නැගෙන විට සෙල් ලිපියක් සමග ගල් ලෙනකි. මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේ පමණ ලෙන සඟ සතු කළ බැව් සෙල් ලිපියෙන් දැනගත හැක. මෙම ගල් ලෙනෙන් මදක් උඩට වන්නට මතුපිටින් පරීක්ෂාවෙන් බලා කියවිය හැකි තිරියාය සෙල් ලිපිය හමුවේ. කේශ ධාතු චෛත්‍යයේ විස්තරය, ඔප මට්ටමින් තොර ගල් තලාවේ පේලි 11 කින් සටහන් තබා ඇත.
තපස්සු සහ භල්ලික වෙළඳ දෙබෑයන්
උත්තර භාරතයේ උතුරු ඉන්දියවේ සිංනද්‍ර නදියේ සුවාසතු නම් අතු ගංඟා තීරයේ පුෂ්කරවතී නම් නුවරකි. තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්‍ගේ පියා එනුවර උපන් ගැල් වෙළෙන්දකි. මේ නුවර සමීපයේ වූ අසිතඤ්ජන පුරය දෙබෑයන්ගේ මාතෘ භූමියයි. මොවුන්ගේ වාස භූමිය වූයේ අසිතඤ්ජන පුරයේ වූ උත්කළ නගරයයි. පියාගේ ඇවෑමෙන් දෙබෑයනට වෙළඳ ව්‍යාපාරය හිමි විය.වෙළඳ බඩු පිරවූ ගැල් 500 ක් පදවාගෙන උතුරේ සිට හිමාලය කඳු පා මුලින් මධ්‍ය දේශයට එද්දී කිරිපලු වනයේ දී බුදු වූ 50 වැනි දා බුදුන් වහන්සේ මුණගැසුණහ.